රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ ඇති දුෂ්කර ප්‍රදේශයක්වන තෝරවෙල්කන්ද ගම්මානය ඉතා ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ සොඳුරු පරිසරයක පිහිටා ඇති අප පාසල වර්තමානය වන විට ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාසයේ නැගී එමින් පවතින විදු බිමක් බවට පත් වී ඇත.
රාවණාකන්ද, වතුකාරකන්ද ගම්වාසින්ට ළඟපාත පාසලක් නොතිබීමත් ඇළ, දොළ, ගංගාවලින් ගහන වීමත් නිසා කුඩා දරු දැරියන්ට අධ්‍යාපනයක් ලබා දීමට ඉඩකඩ මදව තිබූ එම කාලයේ මුලු ගම්මානයේම සියයට අනූවක් පමණ අකුරු නොදැනුවන් සිට ඇත. මෙම හේතුව මූලික කර ගනිමින් ගමේ දරු දැරියන්ගේ අධ්‍යාපනයේ ඇති දුෂ්කරතාවය දත් එවකට බලංගොඩ මහජන මන්ත්‍රී රත්නපුර දිසා ඇමතිතුමා ඒ සඳහා රජයෙන් අක්කර දෙකක භූමි භාගයක් පාසල වෙනුවෙන් වෙන් කර දී ඇත.
අනාගත බාල පරපුරේ අභිවෘද්ධිය උදෙසා උතුරු වලේබොඩ බටහිර ග්‍රාම සංවර්ධන සමිතියත් ගම්වැසියන්ගේත් සහයෙන් සීතගල පුලිනතලාරාමාධිපති මැද්දෙකන්දෙ ධම්මරංසි ස්ථවීරයන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රමදාන මගින් අඩි 15x30 ගොඩනැගිල්ලක් සාදා වර්ෂ 1980ක් වූ සැප්තැම්බර් මස 11 වන දින අත්පොත් තබමින් ර/ තෝරවෙල්කන්ද විද්‍යාලය සුභ මූර්තියෙන් ආරම්භ කර ඇත.
පාසල ආරම්භක දිනයේදී සිසු සිසුවියන් තිස්දෙදෙනකු ඇතුළත් කරගෙන ඇති බව සඳහන් වේ. පාසලේ මුල්ම විදුහල්පතිවරයා ලෙස වලේබොඩ හීතගලගේ කරුණාසේන මහතා පත් කර ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවය.පසු කාලීනව ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසා එක් ගුරුවරයෙකුට පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අපහසු බැවින් 1981 මාර්තු 09 වන දින සිට ඩබ්. සිරියාවතී මිය ගුරුවරියක් ලෙස පත්කර ඇත.
1982 ජනවාරි 18 වන දින පාසල රජයට පවරා ගැනීමත් සමඟ භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර එවකට පී. ගුරුගේ මහතා විදුහල්පති ධූරයේ කටයුතු කර ඇත. 1982 ජූලි 20 දින අඩි 10x15 කොටසක් විද්‍යාලයීය ශාලාවට යාබදව ගම්වාසීන්ගේ ශ්‍රමදාන මගින් අවශ්‍ය ලී, වැලි හා අනෙකුත් ද්‍රව්‍ය සපයා ගනිමින් සකස් කර ඇත්තේ විදුහල්පති පී. ගුරුගේ මහතාගේ මූලිකත්වයෙනි. ඉන් පසුව 1983 ජුනි 14 වන දින පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන්ගේ හා සුභපතන්නන් වශයෙන් ඉදිරිපත් වූ අයගේද සහභාගිත්වයෙන් විද්‍යාලයට අවශ්‍යව තිබූ ක්‍රීඩා පිටියක් (අඩි 40x80) ශ්‍රමදානය මගින් සකස් කර දෙන ලදී.
1983 අගෝස්තු 15 වන දින පාසල් වලට සිසුන් තෝරා ගැනීමේ සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත් වූ පහ ශ්‍රේණියේ විභාගය සඳහා සිසු සිසුවියන් මුල්වරට ඉදිරිපත් කර ඇත. එමෙන්ම 1993 සැප්තැම්බර් 06 වන දින 09, 10, 11 ශ්‍රේණි පන්ති පැවැත්වීමට අවසර ලැබී ඇත.
| ආරම්භ කළ දිනය | 1980 සැප්තැම්බර් 11 |
| එහි මුල දී සිටි ගුරුවරු සංඛ්‍යාව | 01 |
| පාසලට ඇතුළත් වූ මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව | 32 |
| මුල් ගුරුතුමාගේ නම | ඩබ්. එච්. කරුණාසේන මහතා |
| පාසලේ මුල් ගොඩනැගිලි ගණන | 01 |
| පාසලේ නම | ර/ තෝරවෙල්කන්ද විද්‍යාලය |
| පාසල භාරව කටයුතු කිරීම | ඩබ්. එච්. කරුණාසේන මහතා |
| පාසල රජයට පවරා ගත් දිනය | 1982 ජනවාරි 18 |
| පාසල පැවැත්වූ ස්ථානය | තෝරවෙල්කන්ද, මෙගොඩ වලේබොඩ, බලංගොඩ |
| ප්‍රථම ශිෂ්‍යයාගේ නම | බී. ජී. ධර්මසේන |
| ප්‍රථම ශිෂ්‍යයාවගේ නම | ජී. කේ. පොඩි මැණිකේ |

